Friday, November 8, 2024

General line - 0115112241

ආගමන විගමන පාලක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

සැකකාර ආගමන විගමන පාලක ජනරාල්වරයා එම බන්ධනාගාරයේ ‘එන්’ වාට්ටුවේ සෙසු සැකකරුවන් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම වාට්ටුවේ රඳවා සිටින්නේ විවිධ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය නිලධාරීන් පිරිසක්.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයා සමග රාජ්‍ය නිලධාරීන් 16 දෙනෙකු පමණ එම වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

ඊයේ පස්වරු 05යි 30ට බන්ධනාගාරයට රැගෙන ආ එම නිලධාරියා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර තිබෙනවා.

එම වාර්තා අනුව අනාවරණ වී ඇත්තේ ඔහුට කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවයි.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ රඳවා සිටිනවා. 

ඉකුත් පාලන සමයේ ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා යටතේ එලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. 

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් වගඋත්තරකරුට අදාළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විවෘත අධිකරණය කියවා දුන්නා.

වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි. 

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය සහ අධිකාරි බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යනු මෙරට තිබෙන ඉහළම අධිකරණය බවත් එම අධිකරණය විසින් නිකුත් කරන නියෝග හෑල්ලුකොට සුළුවෙන් දැකීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි මහතා අවධාරණය කළේය. 

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව මෙම වග උත්තරකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජනවාරි මස 22 වන දා කැඳවීමටද දින නියම වුණා.