Saturday, January 11, 2025

General line - 0115112241

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නිසා සිලින්ඩරයට වෙච්ච දේ




ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. 

ඔහු පවසන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළඹ තිබූ බවයි. 

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම්ගත වීමට ද තීරණය තිබූ බවත් එම පෙරමුණේ ලේකම්වරිය ලෙස ෂර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුළත් ගිවිසුම් බාර දුන් බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා.

කෙසේවෙතත් අද වන තෙක් ගිවිසුම්වල පිටපත් හවුල්කාර පක්ෂ කිසිවකට ලබාදී නොමැති අතර ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් සිදු කර නැහැ. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් ද පවරා නොමැති බවයි ඔහු පවසන්නේ. 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් විසින්. 

එම තීරණය උල්ලංඝනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කිරීමක් මෙන්ම දේශපාලන හොරකමක් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ.