Saturday, January 11, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය කල්යයි

උදය කුමාර




යළි ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

මෑතකදී අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙසයි එමගින් ඉල්ලා තිබුණේ. 

මෙම පෙත්සම් එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. 

මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ කලින් පිටවූ ප්‍රශ්න බව කියන ප්‍රශ්න තුන ඇතුළත් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් නොපැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවයි. 

ඊට අමතරව කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නිදහස් ලකුණු ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණා.