Saturday, January 11, 2025

General line - 0115112241

ඔන්මැක්ස් ගැන පැමිණිලි 2,000ක් - අහිමි මුදල බිලියන 3ක්




ඔන් මැක්ස් ෘඔ මුදල් ආයෝජන ක්‍රමයේ ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2017ක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ තුළින් ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2යි 96ක් ලෙස ගණන් බලා තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. 

මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් ඉඩම් 31ක් පමණ මේ වන විට තහනමට ගෙන තිබෙන බවත් ඔවුන්ට අයත් විදේශවල තිබෙන වත්කම් පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශන මෙහෙයවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සඳහන් කර සිටියා. 

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියා. 

තවත් සැකකරුවන් තුන්දෙනෙකු මේ වන විට විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාල ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා. 

තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි ඔවුන් අධිකරණයට දැනුම් දුනනේ. 

මෙහිදී මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවයි. 

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වන දා යළි කැඳවීමට නියමිතයි.

ඔන් මැක්ස් ෘඔ මුදල් වංචාව සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන් අවස්ථා රැසකදී තොරතුරු අනාවරණ කළා.