Saturday, January 11, 2025

General line - 0115112241

තවත් පුරා විද්‍යා බිමක් වනසා බිම් සකසයි - නටබුන් බිමට සමතලා කරලා (PHOTOS)

රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අල්ලෙවැව මහවැලි රක්ෂිතයේ ඇති ඉපැරණි පුරා විද්‍යා ස්මාරක රැසක් පිහිටා ඇති භූමියක් කිසියම් සංවර්ධන කටයුත්තක් සඳහා මේ වන විට ඩෝසර් සන්ත්‍ර යොදා බිම් සකස් කොට විනාශ කර තිබෙනවා.

මේ අනුව මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩමේ අක්කර 50 ක භුමි ප්‍රදේශයක් පෞද්ගලික සමාගමකට අයත් බල ශක්ති ඉන්ධන දැව වගාව සඳහා වෙන් කොට දී ඇති බවද පැවසෙනවා.

එම භුමියේ පිහිටා ඇති පුරා වස්තු රැසක් මේ නිසා හානියට පත්ව ඇති අයුරු එහි ගිය nethnews.lk වාර්තාකරුට දැකගත හැකි වුණා.

අනුරාධපුර මුල් යුගයේ බෞද්ධ සංස්කෘතිය ආරම්භ වූ මුල් කාලයට අයත් යැයි කියන ප්‍රාදේශීය බෞද්ධ මධ්‍යස්ථානයක නටබුන් තිබුණු බවට මෙහි සාක්ෂි ඇති අතර අනුරාධපුර යුගයට අයත් වටිනා චෛත්‍ය ගොඩල්, ගල් කණු, සෙවිලි කරන ලද පැති උළු, ඉපැරණි ගඩොල් ඇතුළු මට සිලිටු නොකරන ලද ශිලාමය කුළුණු කොටස් විනාශ වී ඇති අයුරු එහිදී දැකගත හැකි වනවා.

එම පුරා වස්තු හඳුනා ගත නොහැකි තරමට ඩෝසර් යන්ත්‍ර මගින් පොළවට සමතලා කර ඇති බවද nethnews.lk වාර්තාකරු සඳහන් කරනවා.  

මේ අතර මීට පෙර නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව ගම්මානයක් ඉදිකිරීම සඳහා බව පවසමින් අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පූගොල්ලාගම බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර දමා වීනාශ කර ඇති බව ප්‍රදේශවාසීන් පවසා තිබුණා.(එම පුවතට මෙතැනින් පිවිසෙන්න)

(පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අල්ලෙවැව මහවැලි රක්ෂිතයේ ඇති ඉපැරණි පුරා විද්‍යා ස්මාරක රැසක් විනාශ වී ගොස් ඇති අයුරු පහතින් දැක්වෙයි)