Monday, February 24, 2025

General line - 0115112241

කෑගල්ල, රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 350 ඉක්මවූ වැසි

නිවේදන-එන් ඒ ඩබ් නිරෝෂන්- චන්දික ලියනගේ--සැම්සන් ප්‍රේමසිරි 



කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 350කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවට දැනුම්දෙනු ලබනවා.

එහි ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ එවැනි පසුබිමක් තුළ ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාපතනයකදී වුවද කණ්ඩි කඩා වැටීම සහ නායයෑමේ අනතුරු සිදු විය යුතු බවයි.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේ නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කරන බවද ඔහු පැවසුවා.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ දැක්වෙනවා.

එමෙන්ම සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම කාලගුණ අනාවැකියේ සඳහන්. උතුර සහ උතුරුමැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද එම කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි පැවසුවා.