Sunday, March 30, 2025

General line - 0115112241

ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැතිව දුක්විඳි අතීතය අමතක නොකළ යුතු බව ජනපති කියයි



ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයාගත නොහැකිව දුක් විඳි අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මතු පරපුරට එවන් අදුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්ථනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩ නැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ සියලු දෙනා එක්විය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09වන සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.

යළිත් රටේ ආර්ථිකය බිඳ වැටීම වලක්වා ගැනීම සඳහා රට තුළ අපනයන කර්මාන්තයක් බිහි කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

එම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍ර රාජිත සේනාරත්න ද එක්ව සිටියා.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ජනාධිපතිවරයාට හැකිවෙතැයි තමන් ද නොසිතූ බවයි.

එහෙත් අද එය පිළිගැනීමට සිදුවී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එහිදී වැඩිදුරටත් කියා සිටියා.