අතුරුගිරියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ද වන බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර බෙලිඅත්ත, කතරගම සහ අහුංගල්ල ප්‍රදේශවල පදිංචි කිහිප දෙනෙකු ද වනවා.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් නොබෝ කෙටි කාලයක් තුළ මෙම වෙඩි තැබීමට සම්බන්ධ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවටයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය හමුවේ කියා සිටියේ.
මේ අතර මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ ක්ලබ් වසන්තගේ මෘත දේහය පිළිබඳ මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී අද සිදුකෙරුණා.
මොළයට සිදුවූ හානිය සහ ශරීර අභ්‍යන්තරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.
ක්ලබ් වසන්තට වෙඩි ප්‍රහාර 20ක් එල්ලකර ඇති බවද මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.
ඔහුගේ සිරුරේ තිබූ උණ්ඩ 08ක් ද ඉවත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඉන් අනතුරුව ක්ලබ් වසන්තගේ මෘත දේහය භාරගනු ලැබුවේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා විසින්.
පස්වරු 02යි 30ට පමණ ක්ලබ් වසන්තගේ මෘත දේහය බොරැලලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සිටියදී ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ, ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල් ගත කෙරුණා.
කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණා.