Thursday, February 27, 2025

General line - 0115112241

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව ගොනු කළ නඩුවකට අධිකරණය දින දෙයි

උදය කුමාර



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා එහි වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද කල් ලබා දුන්නා.

ඒ, වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ මේනකා විජේසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා තිබේ නම් සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන්ට නියෝග කළේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ෆොන්සේකා මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සඳහා අයදුම්කරුවන් 16 දෙනෙකු අයදුම් කර තිබූ බවත් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර තිබූ බවයි.

ඉන් අනතුරුව ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය දෙසැම්බර් මස 30 වන දා පැවැති බවත් පෙත්සමේ සඳහන්.

එම සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඉහළම ලකුණු ලබාගත් බවට තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

එසේ තිබියදී එම සම්මුඛ පරීක්ෂණය පෙනී සිටි  මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා නම් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ බවත්  පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

මීට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පැවති ඡන්ද විමසීමේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඡන්ද 05 ක්  සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඡන්ද 04 ක් ලබාගත් බවට දැනගන්නට තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

එසේ තිබියදී මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඉකුත් ජනවාරි මස 10 වන දා  මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි පෙත්සමේ දැක්වෙන්නේ.

මෙය පූර්ව සැලසුමක් සහිතව දේශපාලනික අරමුණකින් සිදු කළ පත්වීමක් යැයි චෝදනා කරන පෙත්සම්කරුවන් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශ්වාසනීයත්වය හා ගෞරවය දැඩි ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් සඳහන් කළා. 

ඒ අනුව නීතියට පටහැනි ලෙස සිදු කර තිබෙන මෙම පත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතාගේ නම ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත නියෝගයක් නිකුත් කරන  ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.