Friday, February 28, 2025

General line - 0115112241

පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලී ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලිබල මණ්ඩලයට නියෝග

උදය කුමාර



ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලියක් ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද නියෝග කළා.

එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විදුලි බල පනතේ 28(2) වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා තැන්පතු මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳි සිටින බවයි.

ඉකුත් වසරේ ජනවාරි මස 30 වනදා  අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණේ 2023 වසරේ ජනවාරි මස 01 වනදා සිට  2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති සියයට 11යි දශම 6යි 7ක වාර්ෂික පොලිය ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු ගනුදෙනුකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණා. 

මෙම නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියම කළේ මෙම මෝසම තුළින් එකඟ වී තිබෙන පරිදි  කටයුතු කරමින් විදුලි පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතිකයන් යටතේ වාර්ෂික පොලියක් ගෙවීමට කටයුතු කරන ලෙසයි.