ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩි තැබීමකින් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද තීන්දු කළා.
ඒ, දින දෙකක් පුරා පැවැති මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදීයි.
ගනේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුනු බවයි.
මෙම පරීක්ෂණය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න නමැත්තිය සාක්ෂි ලබා දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ ඇය සාක්ෂි ලබා දුන්නේ මෙලෙසයි.
උපුටා ගැනීම.
“සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ.
සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා.
ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ.
පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ.
එදා පෙරවරු 10.30ට 11.00ට විතර මට කෝල් එකක් ආවා.
මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා.
ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා.
එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචියි කියලා.
පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා.
පසුගිය 20 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා.
එහිදී මිය ගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා.
පසුව කෙසෙල්වත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා”
උපුටා ගැනීම අවසන්.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ සංජීව කුමාර සමරත්න නමත්තාට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්නා.
විශේෂයෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම ද වැදගත් බවයි එම නීතිඥවරුන් පෙන්වා දුන්නේ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
ඉන් අනතුරුව ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඉන් අනතුරුව නඩුව මාර්තු මස 07 වනදා යළි කැඳවීමටද නියෝග කෙරුණා.