Tuesday, March 4, 2025

General line - 0115112241

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

උදය කුමාර



වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදුකලේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වුණා. එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.