Monday, March 31, 2025

General line - 0115112241

කඩදාසි හැඳුනුම්පත් ගැන නෙත් නිවුස් අනාවරණයට බලධාරීන්ගෙන් ප්‍රතිචාර



ජාතික හැඳුනුම්පත්, කඩදාසි කොළවල නිකුත් කර වසර පහක් පමණ ගත වුවත් මෙතෙක් කාඩ් පතක මුද්‍රණය කළ ජාතික හැඳුනුම්පතක් නොමැති වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් දා තොරතුරු අනාවරණ කළා.

එම ප්‍රවෘත්තියට අදාළව වැඩබලන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය ලිපියක් මඟින් කරුණු දක්වා තිබෙනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් ගැටළුවට මුහුණපා සිටින සිසුවෙකුගේ පියෙක් නෙත් නිවුස් වෙත එම ගැටළුව ඉදිරිපත් කළේ මෙලෙසයි.

මීට අදාළව කරුණු දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ ප්‍රසම්පාදන කිහිපයක් වර්ෂ කිහිපයකදීම අවලංගු වීම හේතුවෙන් ඇති වූ කාඩ්පත් හිඟතාවයට තාවකාලික විසඳුමක් ලෙස ජාතික හැඳුනුම්පතෙහි අඩංගුවිය යුතු සියලු තොරතුරු ඇතුළත් කරමින් තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් නිකුත් කිරීම සිදුකර ඇති බවයි. 

2005 පෙබරවාරි පළමුවන දින හා එදිනෙන් පසු උපත ලැබූ ප්‍රථම වරට ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කරන පාසල් ඉල්ලුම්කරුවන් වෙත එලෙස තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කර ඇති බවද එම ලිපියේ සඳහන්. 

මෙම තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ජාතික හැඳුනුම්පත වෙනුවට භාවිත කළ හැකි වලංගු ලේඛනයක් ලෙස නිකුත් කර ඇති බවට සියලු ක්ෂේත්‍ර දැනුවත් කර ඇති බවත් ජාතික හැඳුනුම්පත්වල තොරතුරු තහවුරු කර ගැනීමේ මාර්ගත සේවාව සහ ඒ පී අයි ක්‍රමවේදය ඔස්සේ එම ලිපිවල තොරතුරු තහවුරු කර ගැනීමේ හැකියාව පවතින බවත් එහි සඳහන් වනවා.

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ජීවමිතික දත්ත ඇතුළත් නවීන ආරක්ෂක ක්‍රමවේදයන් සහිත විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බැවින් එම තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නිකුත් කළ ඉල්ලුම්කරුවන් සඳහා ප්‍රථමයෙන් එම නව හැඳුනුම්පත නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන් අද සාකච්ඡාවට ගැනෙන්නේ ද මෙම ගැටළුව පිළිබඳවයි.