Tuesday, April 29, 2025

General line - 0115112241

දහතුන් වසරකට පෙර සිදුකල ඝාතනයකට වරදකරුවන් කෙරුණු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

උදය කුමාර



2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණීය දණ්ඩනය නියම කළා. 

එම චෝදනාවට වරදකරු කළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ද එහිදී නියම කෙරුණා. 

එම වරද සිදු කරන අවස්ථාවේ මෙම විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සිටි බැවින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවයි. 

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා. 

මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබුණා. 

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය, තොටුපොල පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් 21ක් හැවිරිදි අවිවාහක තරුණයකු වූ ෆ්රැන්සිස් සුරංජන් කෘස් නමැත්තාට පොලුවලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.