Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව සමග විස්සයි විස්සේ පළමු ගැටුමත් ශ්‍රී ලංකාව පරදියි




දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති පන්දුවාර විස්සයි විස්සේ ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් පරාජය වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයට බාධා සිදුවූ අතර මේ නිසා තරගය පැවැත්වුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 10කට සීමාවෙමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 10දී කඩුලූ 5ක් දැවී ලකුණු 126ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ද සාර්ථක ආරම්භයක් ලබාගත්තත් මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා නියමිත ඉලක්කයට ළඟාවීමට ඔවුන්ට හැකිවූයේ නැහැ. ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5යි එක් පන්දුවකදී ලකුණු 59ක් රැස්කළා. නිරෝෂන් දික්වැල්ල පන්දු 19කදී ලකුණු 43යි.

ධනංජය ද සිල්වා පන්දු 16කදී ලකුණු 17ක් ලබාගත්තා. කෙසේ වෙතත් නියමිත පන්දුවාර 10 අවසානයේදී
ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ කඩුලූ 6ක් දැවී ලකුණු 107ක් පමණයි.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරීයන් හි සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා. දෙපිල අතර මීළඟ තරගය හෙට පැවැත්වීමට නියමිතයි.