Friday, April 26, 2024

General line - 0115112241

එයාර්ටෙල් වේගවත්ම අන්තර්ජාල සේවා සම්පාදකයා බවට පත්වෙයි




එයාර්ටෙල් සමාගම නැවතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 3G වේග පරීක්ෂණ වලදී පෙරමුණ ගැනීමට සමත් වී සිටිනවා. 

එම කොමිෂන් සභාව මෙම පරීක්ෂණ මාසයකට වරක් සිදුකරනු ලබන අතර එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ (www.trc.gov.lk) පළකර ඇති දත්ත වලට අනුව එයාර්ටෙල් මෙරට වේගවත්ම ජංගම අන්තර්ජාල සේවා සම්පාදකයා ලෙස ශ්‍රේණිගත වී තිබේ. 

උපරිම වශයෙන් 24.2 Mbps වේගයක් සමගින් සාමාන්‍යයක් ලෙස 12.4 Mbps අන්තර්ජාල වේගයක් පවත්වා ගැනීමට එයාර්ටෙල් සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නෝ දිනකට සාමාන්‍යයෙන් පැය 3ක පමණ කාලයක් අන්තර්ජාලය භාවිතා කරනවා. 

තමන්ට වඩාත්ම වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදෙන්නේ කුමන සේවා සම්පාදක සමාගමද යන්න තීරණය කිරීමේදී පාරිභෝගිකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 3G වේග පරීක්ෂණ බෙහෙවින් වැදගත් වනවා. 

මෙම පරීක්ෂණ වල නවතම අදියර 2016 නොවැම්බර් මාසයේදී ආරම්භ වූ අතර එතැන් පටන් අඛණ්ඩව ලේඛන 6 ක් පළමු ස්ථානයේ රැඳී සිටීමට එයාටෙල් සමත් වී තිබේ. 

මෙම වේග පරීක්ෂණ ආරම්භ කළ දින සිට මේ දක්වා වෙනත් කිසිදු සමාගමකට මේ ආකාරයේ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකි නොවී තිබීම විශේෂත්වයක්.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඬේ පෙන්වා දුන්නේ වර්තමානයේ ජංගම දුරකථන භාවිතයේ මූලික අරමුණ ඇමතුම් ගැනීම වෙනුවට අන්තර්ජාල භාවිතය බවට පත්වී ඇති බවයි. 

"මේ ප්‍රවණතාව ඇතිවෙමින් පවතින බව අප වසර කිහිපයකට පෙරම වටහාගත්තා. පාරිභෝගිකයන්ට 40% ක් වැඩිපුර වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදීම සඳහා අප සැලකිය යුතු මට්ටමේ ආයෝජනයන් සිදුකළේ ඒ නිසයි. මේ තත්ත්වය නොවෙනස් ව පවත්වාගැනීමට අපගේ ඉංජිනේරුවන් දැඩි වෙහෙසක් ගන්නවා. මේ ජයග්‍රහණය ඔවුන්ගේ උත්සාහයේ සාර්ථකත්වයේ ප්‍රතිපලයක්. ඉදිරියේදීත් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපි කැප වෙනවා" එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඬේ වැඩිදුරටත් පැවසුවා.

අධිවේගී අන්තර්ජාල සේවාවක් ලබාදෙන අතිනවීන තාක්ෂණයන් භාවිතයට ගැනීමට කටයුතු කිරීම නිසා මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට එයාර්ටෙල් සමාගමට හැකිවී තිබෙනවා. 

පාරිභෝගිකයන් නිතර භාවිතා කරන අන්තර්ගතයන් විදේශ සර්වර් (Severs) වල ගබඩා කරනු වෙනුවට දේශීය සර්වර් භාවිතා කරන 'Smart Cache' තාක්ෂණය යොදා ගැනීමට එයාර්ටෙල් සමාගම කටයුතු කර තිබෙනවා. 

මේ හේතුවෙන් බාහිර බාධක මතු නොවන නිසා වඩාත් වේගවත් සේවාවක් ලබාදීමට එයාර්ටෙල් සමත් වී තිබෙනවා. 

එමෙන්ම දත්ත හුවමාරුවට නාලිකා 2 ක් භාවිතා කරන'Dual Carrier' තාක්ෂණය යොදා ගැනීමද අන්තර්ජාල වේගය ඉහළ යාමට තවත් හේතුවක්.

මේ ආකාරයට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සැපයීමට සමත් වීමට සමගාමීව විශේෂයෙන් තරුණ පරපුර අතර එයාර්ටෙල් හි ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති අතර සමාගමේ පාරිභෝගිකයන් සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස වර්ධනය වී තිබෙනවා.

එයාර්ටෙල් යනු මෙරට තරුණ පරපුර වඩාත්ම ප්‍රියකරන ජංගම දුරකථන සේවාව බව මෑතකදී කරන ලද සමීක්ෂණ වලින්ද සනාථ වී තිබෙනවා. 

මීට අමතරව ෆේස්බුක් මගින්ද තරුණ පරපුර අතර එයාර්ටෙල් දිනා ඇති ජනප්‍රියත්වය තහවුරු වී ඇති අතර මේ සියල්ල සමගින් මෙරට ජංගම අන්තර්ජාල සේවා සම්පාදනයෙහි ප්‍රමුඛයා ලෙස ඉදිරියටම පැමිණීමට එයාර්ටෙල් සමත් වී සිටිනවා.