Friday, April 26, 2024

General line - 0115112241

ලබන මාසේ පාර්ලිමේන්තුවට එන අයවැයෙන් මෝටර් රථවලට මොකද වෙන්නේ

ඉෂාර සුපෙම් මානගේ




2018 අයවැය ලේඛනය නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියා.

මෙවර අයවැයෙන් ජනතාව තුළ ඇති තවත් බලාපොරොත්තුවක් වන්නේ ආනයනික මෝටර් රථ පිළිබඳවයි.

කුඩා ප්‍රමාණයේ මෝටර් රථ පිළිබඳව පැහැදිළි අදහසක් දැක්වීමට නොහැකි වුවද ඉලෙක්ට්‍රික් මෝටර් රථ පිළිබඳව යම් බලාපොරොත්තුවකින් සිටින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගම් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ සිය සාමාජිකයන්ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ බදු අඩු විය යුතු බවට රජයට යෝජනා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා මෝටර් රථ ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් ද කියා සිටියේ මෙවර අයවැය තුළින් ඉලෙක්ට්‍රික් මෝටර් රථ බදු අඩු වේ යැයි අපේක්ෂාවෙන් සිටින බවයි.

සියයට 05ක බදු අගයක් තිබූ ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිල ගණන් පසුගිය වසරේ විශාල ලෙස ඉහළ ගියේ බදු අගය සියයට 50ක් දක්වා වැඩි කිරීම හේතුවෙන්. ඒ හේතුවෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් මිලදී ගැනීමට ගිය පාරිභෝගිකයාට බදු මුදල පමණක් ලක්ෂ 25ක් පමණ ගෙවීමට සිදු වුණා. එහි බලපෑම මත එම වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 40 ක් පමණ වූ බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේ පිළිබඳව දිගින් දිගටම කරුණු වාර්තා කිරීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ආනයනය කළ ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රමාණය ඉතාම සුළු සංඛ්‍යාවක් බවට රජයට දත්ත වාර්තා මගින් පෙනී ගොස් තිබෙන බවද රංජිත් පීරිස් සඳහන් කළා.

මෙම පැහැදිළි වෙනස මත මෙවර අයවැය තුළින් ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සැළකියයුතු බදු අඩුවීමක් ලැබේ යැයි සිය අපේක්ෂාවන් බවයි මෝටර් රථ ආනයනකරුවන් පෙන්වා දුන්නේ.