Friday, April 26, 2024

General line - 0115112241

මංගලගේ 'මංගල අයවැයට' තවත් පැය කිහිපයයි - කොල්ලන්ට කෙල්ලන්ට ලැබෙන  බව කියන දේවල් මෙන්න 

සුගත් ධර්මප්‍රිය




යහපාලන රජයේ තෙවන අයවැය අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ,මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්.

මෙම අයවැය මගින් තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සඳහා යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

තරුණ තරුණියන් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ණය ලබාදීම සහ ඉදිරි රැකියා අවශ්‍යතා සඳහා ගැළපෙන පරිදි තරුණ පරපුර පෙළ ගැස්වීම යන යෝජනා කිහිපයක් ඊට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.


විදේශ අධ්‍යාපනය සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අයවැයෙන් කටයුතු කරනු ඇති බවයි එම වාර්තා මගින් කියවුණේ.

පරිසර හිතකාමී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙවර අයවැය මගින් අවදානය යොමුව ඇති අතර සැහැල්ලු වාහන සහ බැටරි මගින් ධාවනය වන වාහන පිළිබඳව ද මෙහිදී යෝජනා ඇතුළත් වනු ඇති බවයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.


2018 වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර ඒ අනුව ලබන වසරේ ඇස්තමේන්තුගත  වියදම රුපියල් බිලියන 3982ක් වනවා.

මෙම වියදම පියවා ගන්නා ආකාරය  අයවැය කතාව මගින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අයවැය කතාව අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) සිට දින 06ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.


දෙවන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම ලබන 16 වන දා සිදු කිරීමට නියමිතයි.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 17 වන දින දෙසැම්බර් 9 දක්වා  පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම දෙසැම්බර් 9 පැවැත්වීමට නියමිතයි.