Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාව වැටෙද්දී ස්ට්‍රේලින් පවුමය ඉන් වාසී ගනී - යුරෝපා සංගමයට මහ බ්‍රිතාන්‍යයෙන් කොළ එළියක්

වසන්ත පිවිතුරු




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමයේ අගය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ වසර හතරකට පසුවයි.

2014 වසරේ දී බ්‍රිතාන්‍ය පවුමය විශාල ලෙස පසුබෑමට ලක්වුණා.

කෙසේ වෙතත් ඊයේ (21) පස්වරුවේ දී බ්‍රිතාන්‍ය පවුමය වාර්තාගත ලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා.

ගෙවුණු සති පහක කාලය තුල ක්‍රමයෙන් මෙම වර්ධනය සටහන් වූ බවයි බ්‍රිතාන්‍ය මහ බැංකු වාර්තා පවසන්නේ.

එම කාලය තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමයේ අගය 10% න් ඉහළ ගියා.

මහ බ්‍රිතාන්‍යය යුරෝපා සංමයෙන් ඉවත්වීමට පෙර ගත් තීරණය යළි සලකා බැලීම සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් අත්වීමත් සමග මෙම වෙනස ඇති වී ඇති බව සඳහන්.

එමෙන්ම අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටීම ද බ්‍රිතාන්‍ය පවුමයේ අගය කැපී පෙනෙන වර්ධනය වීමට තවත් හේතුවක් වනවා.

මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ බ්‍රිතාන්‍යය ගත් තීරණය ඉල්ලා අස්කර ගත යුතු බව යුරෝපා සංගමයේ ප්‍රධානි ඩොනල්ඩ් ටස්ක් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

මෑත කාලීනව මහ බ්‍රිතාන්‍යය ගත් තීරණ අතර වැරදි තීරණය මෙය ලෙස තමා දකින බවයි ඔහු පෙන්වා දී තිබුණේ.

කෙසේ වෙතත් පසුගිය 2016 වසරේ දී පැවති ජනමත විචාරණයේ දී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ බ්‍රිතාන්‍යය තීරණය කළා.

එහිදී ජනතාවගේ බහුතර කැමත්ත වූයේ ද යුරෝපා සංගමයෙන් මහ බ්‍රිතාන්‍යය ඉවත්විය යුතුයි යන්නයි.

එම තීරණය 2016 දී ගත්ත ද යුරෝපා සංගමය සමග ඇති එකඟතාවන් අනුව හදිසියේම ඉන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයට අවස්ථාව හිමි වුයේ නැහැ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කිරිමට කාලය ලබාදී තිබුණා.

එම කාලය 2019 වසරේ මාර්තු 29 දින අවසන්වීමට නියමිතව ඇති අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවශ්‍ය පියවර බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් කඩිනමින් සකස් කරමින් සිටින බවයි සඳහන් වුණේ.

එවැනි පසුබිමකයි පසුගියදා යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් සමග සාකච්ඡා කළ එම සංගමයේ ප්‍රධානි ඩොනල්ඩ් ටස්ක් සඳහන් කළේ "අපගේ බ්‍රිතාන්‍යය මිතුරා අප සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් වී නොමැති නම් ඔවුන්ට අර්බුධ රැසකට මුහුණ දීමට සිදුවන"බවයි.

එම නිසා අදාළ යෝජනාව සම්බන්ධයෙන් යළි වරක් සලකා බලා සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව මහ බ්‍රිතාන්‍යය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබු බව වාර්තා වනවා.

 

 

 

 

 

.