Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඉන්දීය එක්සිම් බැංකුව කළ හෙළිදරව්ව

චිරාන් ජීවන්ත ධර්මසේන - ඉන්දියාවේ මුම්බායි සිට




ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට නම් නව ආණ්ඩුව ආසියානු වෙළඳපොල කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඉන්දීය එක්සිම් බැංකුව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ඬේවිඞ් රස්ක්වින්හා පෙන්වා දෙන්නේ ඉකුත් දශකයක පමණ කාලයේදී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලෙහි කැපී පෙනෙන ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින් සිටින බවයි.

එහෙත් ශ‍්‍රී ලංකාවේ අපනයන තවදුරටත් සීමිත වෙළඳපොලකට පමණක් සීමා වී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ මුළු අපනයනවලින් සියයට 44ක්ම අමෙරිකාව, එංගලන්තය සහ ඉන්දියාව යන රටවලට පමණක් සිදු කර තිබීම ඊට උදාහරණයක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඇඟළුම් නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයනයක් වුවද ලොව තුන්වන විශාලතම ඇඟළුම් වෙළඳපොල වන ජපානය වෙත ශ‍්‍රී ලංකාව සිදු කර ඇත්තේ සියයට 1.9ක් වැනි ඉතා අඩු ඇගළුම් අපනයනයක් වීමද තවත් උදාහරණයක් ලෙස විස්තර කෙරුණා.

ශ‍්‍රී ලංකාවේ අපනයන, නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වී තිබීම ද ආර්ථික සමෘද්ධියට බාධාවක් බවයි ඉන්දීය එක්සිම් බැංකුව වැඩිදුරටත් කියා සිටියේ. 

ඉන්දීය එක්සිම් බැංකුවේ නියෝජිතයින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවකදී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා.