Friday, April 26, 2024

General line - 0115112241

බාල වර්ගයේ ලිහිසි තෙල් නිෂ්පාදන සොයා දිවයින පුරා වැටලීම් 




ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන පැමිණිල මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. 

එ් අනූව ලිහිසි තෙල් වෙළෙඳපොළ ඡායා මාත‍්‍ර නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු දීප ව්‍යාප්තව සිදු කරනු ඇති. 

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ අනුමත සමාගම් 13 ක් මගින් වෙළෙඳ සන්නාමයන් 22 ක් යටතේ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සිදු කිරීමට නෛතික අවසරය ලැබී තිබෙනවා. 

නමුත්, අද වන විට වෙනත් විවිධ ආයතන සහ වෙළෙඳ සන්නාමයන් යටතේ ලිහිසි තෙල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මේවා ගුණාත්මක බවින් තොර ඉතා බාල ත්ත්වයේ නිෂ්පාදන වන අතර මෙම නිෂ්පාදන භාවිතා කිරීම නිසා කෙටි කලකින් රථ වාහන එන්ජින්වල දෝෂ හට ගැනීම හේතුවන් අමතර කොටස් ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් ද වැය වෙනවා. 

නිරන්තරයෙන් රථ වාහනවල හට ගන්නා මෙම කාර්මික දෝෂ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අපහසුතාවට ද පත් වෙනවා. 

එමෙන්ම, මෙම නීති විරෝධී වෙළෙඳපොළ ප‍්‍රසාරණය නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුද ලක් ද අහිමි වී තිබෙනවා. 

දින 17 පමණක් සිදු කළ වැටලීම් 15 කින් නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන විශාල තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒවායෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න වනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිළධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදු කරනු ලැබුවා. 

මේ සම්බන්ධ වැඩිදුර විස්තර 0772943193 දුරකථන අංකය අමතා ලබා ගත හැකියි.

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ, ආයතනික සන්නවේදන, ජයනාත් හේරත් සඳහන් කළේ මෙවැනි කූඨ වෙළෙඳුන් හා වෙළෙඳපොලේ ඇති ප‍්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් නිෂ්පාදන පිළිබඳ ඔබ දන්නා තොරතුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දෙන ලෙසයි.