Friday, April 26, 2024

General line - 0115112241

අවිනිශ්චිත ගෝලීය ආර්ථිකය හමුවේ LOLC සමාගම කාම්බෝජයේ සාර්ථක ගණුදෙනුවක් නිම කරයි




මේ වසරේ ජනවාරි මාසයේදී, LOLC සමූහය කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි 70% ක් වන සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමන ප්‍රවෘත්තිය නිවේදනය කර සිටි.

එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එහි සෙසු කොටස්කරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දකුණු කොරියාවේ KB Kookmin Bank සමඟ කොටස් මිල දී ගැනීමේ හා විකිණීමේ ගිවිසුමකට එළඹ තිබුණි.

දකුණු කොරියාවේ KB Kookmin Bank යනු දකුණු කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන අතඑ එය ලෝකයේ විශාලත්වය අතින් හයවැනි ස්ථානයේ පසුවන වාණිජ බැංකුව ද වේ.

මෙම ගනුදෙනුව අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම දෙරටේම ඔවුන්ගේ නියාමකයින් වන කාම්බෝජ ජාතික බැංකුව (NBC) සහ කොරියාවේ මූල්‍ය සේවා කොමිසම (FSC) වෙතින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති බව LOLC තහවුරු කරනු ලබයි.

ඒ අනුව ඩොලර් මිලියන 422 ක් LOLC ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙත පසුගිය දා ලැබුණු බව LOLC සමූහය ඊයේ (13) නිවේදනය කර සිටියේය. ඉතිරි ඩොලර් මිලියන 181 ක මුදල 2022 වසරේ දී ලැබීමට නියමිතය.

මෙම ගනුදෙනුව LOLC ට පමණක් නොව ශ්‍රී ලංකාවට ද වැදගත් සන්ධිස්ථානයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින මෙවන් වකවානුවක, මෙම ගනුදෙනුව හරහා මෙරටට ගලා එන විදේශ මුදල් ප්‍රමාණය ඉතා වැදගත් වේ.

Prasac Microfinance යනු කාම්බෝජයේ ක්‍රියාත්මක විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන අතර ඒ සඳහා වසරේ දී LOLC සමූහය 2007 වසරේ දී ආයෝජනය කරන ලද්දේ සිය ප්‍රථම විදෙස් ආයෝජනය ලෙසයි.

LOLC සමූහය මේ වන විට මියන්මාරය, පිලිපීනය, ඉන්දුනීසියාව, සැම්බියාව හා නයිජීරියාව යන රටවල් දක්වා සිය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබේ. එසේම කාම්බෝජයේ ක්‍රියාත්මක LOLC හි තවත් අනුබද්ධ සමාගමක් වන LOLC Cambodia PLC, එරට සිව්වැනියට විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වේ.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් 10 වැනියාට විශාලතම සමාගම වේ.