Saturday, April 27, 2024

General line - 0115112241

කතරගම ඇසළ පෙරහර සඳහා 16 වෙනි වරටත් ඩයලොග් බැතිබර දායකත්වය ලබාදෙයි




රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී තිබෙන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් පැවැත්වෙන අතර, ජූලි 21 වෙනිදා  ඇරඹි රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික  පෙරහර  මංගල්‍යය  අගෝස්තු 4 වෙනිදා තෙක් මහජනයාගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙනු ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ඓතිහාසික කතරගම ඇසළ මහා පෙරහරට සිය බැතිබර දායකත්වය ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම, මෙවර ඊට දායකත්වය ලබාදෙන්නේ 16 වෙනි වරටයි.
 
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ප්‍රධාන පෙරහර තුනක් අයත් වෙයි. බක් මහා පෙරහර, ඇසළ පෙරහර සහ ඉල් මහා පෙරහර ඊට අයත් පෙරහර වේ. කතරගම පුදබිමේ වාර්ෂික ආගමික උත්සව සහ පුද පූජා අතර ප්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ මහා පෙරහරටයි. පෙරහර ආරම්භවීමට පෙර දිනයේ පූජා භූමියේ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපය තුළ චාරිත්‍රානුකූලව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වනු ලබයි. මෙම පිරිත් දේශනාව බස්නායක නිළමේතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පෙරහර මංගල්‍යය සඳහා ආශිර්වාද ලබාගැනීම පිණිස එය පවත්වනු ලැබේ. මෙහි ප්‍රධාන අරමුණ  පෙරහරේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීම සහ  සියලු  රටවැසියන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීමයි. කඳ සුරිඳු නමින් ප්‍රකට කතරගම දෙවියන් හා වල්ලි අම්මාගේ විවාහය සිහිපත් කරමින් මෙම පෙරහර මංගල්‍යය සමරන බව පැරැණ්නන් අතර පිළිගැනීමක් පවතී. ඒ අනුව 2020 ඇසළ මස 21 වෙනි දින රාත්‍රියේ සුබ මුහුර්තියෙන් ආරම්භ වූ පෙරහර, නිකිණි මස 4 වෙනි දින ඓතිහාසික මැණික් නදියේ ජීවමාලී ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් පසු සමාප්තවීමට නියමිතයි.
 
ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ රටේ ප්‍රධාන සංස්කෘතික ආගමික උත්සව සඳහා සිය දායකත්වය සපයයි. ඒ අතර මහනුවර ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය, කැලණිය දුරුතු මහා පෙරහර, ගංගාරාම නවම් මහා පෙරහර, ගැටබරු ඇසළ මහා පෙරහර සහ කෝට්ටේ රජමහා විහාරස්ථ පෙරහර මංගල්‍යයන් ද වේ. එසේම බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාම විහාරස්ථ ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා ද ඩයලොග් සමාගම දායකත්වය සපයයි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමටද ඩයලොග් සමාගම දායකත්වය ලබාදී තිබේ.