Friday, April 26, 2024

General line - 0115112241

2020 වසරේ ටෙලිනිර්මාණ අගයන - “රයිගම් ටෙලීස් 2020” ප්‍රකාශයට පත්කෙරේ




2020 වසරේ විකාශනය වූ ටෙලි නිර්මාණ ඇගයීම සඳහා වන රයිගම් ටෙලීස් 2020 එනම් 17 වැනි රයිගම් ටෙලීස් උළෙල, එළඹෙන ජුලි මස 03 වන දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඉතා සතුටින්  නිවේදනය කරයි.

මෙම උළෙලට පූර්ගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2021 ජුනි මස 4 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.

උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ දැන් භාරගැනේ.

වසරක් ගෙවුන සැනින්, ගෙවුනු වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයා, වසරේ කුළුඳුල් සම්මාන උළෙල පවත්වා වාර්තා තැබූ රයිගම් ටෙලීස්, පැවති වසංගත තත්ත්වය හමුවේ වූවද 2019 වසර සඳහා වූ සම්මාන උළෙල 2020 වර්ෂයේදීම ඉතා සාර්ථකව පවත්වා, 2020 වර්ෂයේදී දිවයිනේ පැවැත්වූ එකම ටෙලි-සිනමා සම්මාන උළෙල ලෙසද වාර්තා පොතට එක්විය.

ගෙවුනු වසරක රූපවාහිනී අස්වැන්න කෙටි කාල පරාසයකදී ඇගයීම හා සම්මාන උළෙලක් සංවිධානය කිරීම පවතින වාතාවරණය යටතේ කොපමණ අභියෝගාත්මක වූවද, සම්මාන උළෙල අඛණ්ඩව නියමිත දිනට පැවැත්වීමට අප තීරණය කළේ පුංචි තිරය ඔස්සේ රස විඳි නිර්මාණයන් හි උණුසුම වියැකෙන්නට පෙර, ඒවා ඇගයීම නිර්මාණකරුවන්ටත් ඒවා රස විඳි ප්‍රේක්ෂකයන්ටත් එක හා සමාන වැදගත් කමක් හා රසයක් දනවන හෙයිනි. ගෙවුනු වසර සඳහා පවත්වන සම්මාන රාත්‍රිය ප්‍රථම කාර්තුව තුළදීම පැවැත්වීම රයිගම් ටෙලීස් ප්‍රතිපත්තිය වූවද පවතින වසංගත තත්ත්වය හමුවේ අවම ප්‍රමාදයක් සහිතව උළෙල පැවැත්වෙන අතර එම අභියෝගය ජයගත් එකම දේශීය සම්මාන උළෙල රයිගම් ටෙලීස් පමණි. මෙම අභියෝගය ජය ගැනීමත් සමග රයිගම් ටෙලීස් තවත් පියවරකින් ජාත්‍යන්තර ප්‍රමිතියට සමීප වේ.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශක දෙකකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියයි. එය සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. මෙපමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමඟ බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි  වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි. වසරින් වසර අලුත්වන රයිගම් ටෙලීස්, සම්මානලාභීන් සඳහා නිසි ගෞරවයත් ප්‍රේක්‍ෂක ජනතාවට අපූර්ව අත්දැකීමකුත් සහිතව ඉතා උසස් මට්ටමින් සංවිධානය කරණ බැවින් අතිවිශාල මහජන ප්‍රසාදයක් සහ පිළිගැනීමක් දිනාගෙන ඇත.

 
රයිගම් ටෙලීස් ආරම්භය හා විකාශනය

රයිගම් ටෙලි සම්මාන උළෙල ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එය සමස්ත රූපවාහිනි මාධ්‍යයම (සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්විය. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය  කුසලතාවයන් ද ප්‍රේක්‍ෂක අපේක්‍ෂාවන් හා ටෙලි මාධ්‍යය සඳහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි  සම්මානය පසුව  රයිගම්  ටෙලීස්  වෙයි. රයිගම්  ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අප මින් ඉදිරියට රයිගම් ටෙලීස් ගැන කතා කරමු.

රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ   සියලු   අංශ  ආවරණය   කරයි.   ඊට  ටෙලි නාට්‍ය මෙන්ම   ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍රවෘත්ති, වාර්තා, රියැලිටි  සහ  වෙනත්  විවිධ  වැඩසටහන්  සහ  තාක්ෂණ  අංශ  ඇතුලත්ය. එමෙන්ම  රයිගම් ටෙලීිස්  වෙතින්  සම්මානයක්   ප්‍රදානය   කරන්නේ   ජාතික   මට්ටමින්   සළකා  බැලිය  හැකි  කුසලතාවන්  සඳහා  පමණි.  ඒ  සඳහා රයිගම්  ටෙලීස් අනුගමනය  කරන  සම්මතයන්  ඇත. මේ  නිසා  රයිගම්  ටෙලීස්  “ජාතියේ  ටෙලි  සම්මාන”  වෙයි.  රයිගම්  ටෙලීස් සම්මානයට පාත්‍රවන විවිධ අංශ රැසකි. (සම්මාන ලේඛණය මේ සමඟ අමුණා ඇත)

 
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

රයිගම්  ටෙලීස්  උළෙලේ  සම්මාන  පරාසය  පුළුල්  කළද   ටෙලි  නාට්‍ය  සඳහා  ප්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ  සහ  ටෙලි  නාට්‍ය  නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ  වඩාත්  දකිනු  රිසියෙන් මෙම  අංශයේ සම්මාන  පුවත්  වාර්තාකරණය,  ප්‍රවෘත්ති   නිවේදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැක.

ජනප්‍රිය සම්මාන

සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ ීඵී ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.