Thursday, January 2, 2025

General line - 0115112241

මිලියන 200ක් වැය කර කුරුදුවලට අලුත් ආයතනයක් මොකටද? පාර්ශ්ව රැසක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි




කුරුදු සදහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කුරුදු කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව පල කරන්නේ විවිධ අදහස්.

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවීම සදහා යෝජනා වී ඇති අතර ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200ක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ. 

කෙසේවෙතත් කුරුදු සදහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවයි පාර්ශ්ව රැසක් පෙන්වා දෙන්නේ. මෙරට සුළු අපනයන කෘෂිකර්ම භෝගවලින් සියයට 50කට වැඩි ආදායමක් කුරුදු හරහා ලැබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ පී හීන්කෙන්ද පැවසුවා.

ඒ අනුව සිදුකළ යුත්තේ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සදහා මුදල් වෙන් කිරීම නොව කුරුදු කර්මාන්තය වැඩි දියුණු කිරීම සදහා එම මුදල් යෙදවීම බවයි ආචාර්ය ඒ පී හීන්කෙන්ද වැඩිදුරටත් පැවසුවේ.      

මේ අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා නිලධාරීන්ගේ සංගමය ද මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහි උපලේකම් අරුණ දිසානායක සදහන් කළේ කුරුදු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා මේ වන විටත් ආයතන කිහිපයක්ම තිබෙන බවයි.

එම නිසා මෙම අවස්ථාවේ මුදල් වෙන් කිරීමට ප්‍රමුඛතාවය දිය යුත්තේ කුරුදු වගාවන් වැඩිදියුණු කිරීමට බවයි අරුණ දිසානායක පැවසුවේ. 

කුරුදු ඉල්ලුම වැඩි වුවද නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඉල්ලුමට සැපයුම ලබා දීමට මෙරටට හැකියාව නොමැති බැවින් කුරුදු නිෂ්පාදනය වැඩි කිරීම සදහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ද පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට වෙන් කර ඇති මුදලින් කුරුදු වගාව රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ යුතු බවයි.

2021 වර්ෂයේ කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙරටට ලැබී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 517ක්. එම මුදලින් සියයට 50කට ආසන්න මුදලක් එනම් ඩොලර් මිලියන 251ක් උපයාගෙන ඇත්තේ කුරුදු අපනයනයෙන්.

එමෙන්ම මෙම වසරේ ඉකුත් සැප්තැම්බර් මාසය දක්වා කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන ආනයනයෙන් ඩොලර් මිලියන 388ක ආදායමක් ලැබී ඇති අතර ඉන් ඩොලර් මිලියන 183ක් ලැබී ඇත්තේ කුරුදු අපනයනයෙන්. වාර්ෂිකව ලොව පුරා කුරුදු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ 50,000ක්. කෙසේවෙතත් මෙරටින් අපනයනය කරන්නේ ඉන් මෙට්ට්‍රික් ටොන් 18,000ක් පමණයි.

ඉතිරිය සම්පූර්ණ කරනුයේ කැෂියා නැමැති කුරුදු වර්ගයයි. එහෙත් ලොව පුරා වැඩිම ඉල්ලුමක් පවතින්නේ මෙරට කුරුදුවලට වීම විශේෂත්වයක්. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට කුරුදුවල සුවද, රස සහ සැර නිසි පරිදි තිබීමයි. 

එසේම කැෂියා නැමැති කුරුදු වර්ගයේ කුමරීන් නැමැති පිළිකාකාරකය ඇති බවට වාර්තා පළ වීමද මෙරට කුරුදු ඉල්ලුම වැඩි වීමට තවත් හේතුවක් වනවා. මෙරට කුරුදු අපනයනයෙන් සියයට 45ක් පමණ සිදු කෙරෙන්නේ උතුරු අමෙරිකානු රටවල් වලටයි. අනෙකුත් ප්‍රමාණය අමෙරිකාව, යුරෝපය සහ මැද පෙරදිග වෙත අපනයනය කිරීම සිදු වනවා.