Tuesday, February 4, 2025

General line - 0115112241

දිමුත් ටෙස්ට් පිටියට සමුදීමට සැරසෙයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 

ඒ, සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. 

ලබන 06 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත එම ටෙස්ට් තරගය දිමුත් සහභාගී වීමට නියමිත සියවන ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක්. 

2012 වසරේ නොවැම්බර් මාසයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී දිමුත් ටෙස්ට් වරම් හිමිකරගෙන තිබීම තවත් විශේෂත්වයක් වනවා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරග 99කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න ඉණිම් 189කදී වාර්තා කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 7,172ක්. 

ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබෙනවා. ටෙස්ට් ඉනිමක ඔහු ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 244ක්. 

දිමුත් ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙනවා. එක්දින තරග 50කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දිමුත් කරුණාරත්න 2019 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණු ලැබුවා. 

සිය සමුගැනීම පිළිබඳ අදහස් දක්වා ඇති දිමුත් පවසා ඇත්තේ ඉදිරි වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇත්තේ තවත් තරග දෙකක් පමණක් වීම සිය සමුගැනීමට හේතුවක් වූ බවයි. 

මීළඟ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී නවක පිතිකරුවෙකුට සිය ස්ථානය ලබාදීමට මෙය සුදුසු කාලය බවද දිමුත් පවසා තිබෙනවා. 

සිය සමුගැනීමේ තීරණය දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.