Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්




බාධාවකින් තොරව පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින්. 

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාන ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 35 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ 2023 වසර සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය හරහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම වෙත වෙන් කර දී ඇති බවයි. ඉකුත් ජනවාරි මස 10 වනදා ලිපියක් නිකුත් කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ වදිනු ලබන අපේක්ෂකයින්ගෙන් තැන්පතු මුදල් භාර ගැනීම  නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබූ බව ද එම පෙත්සමේ දක්වා තිබෙනවා. 

පසුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් එදිනම අදාළ ලිපිය ඉල්ලා අස් කර ගත් බවද එම පෙත්සමෙහි සඳහන්. වගඋත්තරකරුවන් සාධාරණ මැතිවරණයක් සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටින බව පෙන්වා දෙන පෙත්සම්කරු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය තුලින් මහජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ දැනුම්දීම මත රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කාර මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස වගඋත්තර කරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඉවහල් වන සුදුසු නියෝග තිබේ නම් ඒවා නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.