Sunday, September 8, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ  සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි 




අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී මෙරට තේ කර්මාන්තය එහි සියලු මානයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් ඒ වෙනුවෙන් විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“සිලෝන් ටී” සඳහා ජාත්‍යන්තරය තුළ ඇත්තේ ප්‍රමුඛ සන්නාමයක් බව පැවසූ  ජනාධිපතිවරයා නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ එය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරම්භ වූ “කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ  (Colombo International Tea Convention)” සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.  

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය “තේ - ජීවන රටාවක් සහ ජීවනෝපායක්” යන තේමාව යටතේ කොළඹ තේ වෙළඳ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව සංවිධානය කර ඇත. 

කෙන්යාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධනිය, ගල්ෆ් කලාපිය රටවල් සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසකින් තේ භෝගයේ සිට තේ කෝප්පය දක්වා වන සමස්ත ගෝලීය තේ වටිනාකම් දාමයේ කර්මාන්ත ප්‍රවීණයන්, විශේෂඥයන් ප්‍රමුඛ සන්නාම සහ සමාජ සංවිධාන මේ සඳහා එක්ව සිටී. 

මෙරට තේ නිෂ්පාදකයින් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර රැසක ප්‍රදර්ශනයක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබේ.

කොළඹ තේ වෙළෙඳ සංගමයේ සභාපති සංජය හේරත් විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.