Saturday, April 20, 2024

General line - 0115112241

සන්නද්ධ ප්‍රහාරයෙන් රුසියාව කැළඹෙයි




රුසියාවේ බෙල්ගොරෝඩ් කලාපයේ වෙසෙන ජනතාව සිය නිවෙස් අතහැර පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, යුක්රේන දේශසීමාව හරහා ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් එම කලාපය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

එලෙස පළාගිය පිරිස් වෙත රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ යළි දැනුම්දෙන තුරු නිවෙස් වෙත නොපැමිණෙන ලෙසයි.

රුසියානු දේශසීමාවෙන් ඇතුළු වූ කඩාකප්පල්කාරී සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කළ බවටයි රුසියානු ආරක්ෂක අංශ චෝදනා කළේ. 

කෙසේවෙතත් බෙල්ගොරෝඩ් කලාපය තුළ රුසියානු ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන යුක්රේනය පවසන්නේ ඊට සිය පාර්ශවයේ සම්බන්ධයක් නොමැති බවයි. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.