Wednesday, May 8, 2024

General line - 0115112241

අමනාපකම් මැද අමෙරිකානු රාජ්‍ය ලේකම් චීනයට පැමිණෙයි




අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ ත‘ිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු වසර 5කට පසුව චීනයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ප්‍රතිවිරුද්ධ මතධාරීන් ලෙස ප්‍රකට චීනය සහ අමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුඳු වීමේ අවධානමක් මතුව ඇති පසුබිමක් තුළ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස චිනයට පැමිණීම විශේෂත්වයක්.

අද උදෑසන චිනය පැමිණි ඔහු දින දෙකක කාලයක් චීනයේ රැඳී සිටිනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

සිය චීන සංචාරය අතරතුර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීන විදේශ අමාත්‍ය කින් ගැන්ග්, පාලක කමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උසස් නිලධාරී වැන් ඊ මෙන්ම චිනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද හමුවීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික අර්බුදය, ගෝලීය සහ කලාපීය ගැටලු මෙන්ම, ගෝලීය වශයෙන් පවතින අභියෝග සම්බන්ධයෙන්ද අවධානය යොමු වනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

එමෙන්ම, අමෙරිකාව සහ චීනය අතර උණුසුම් තත්ත්වයක් ඇති කළ තායිවාන අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඇති වූ එකඟතාවක් අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට පැමිණීමට නියමිතව තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීයි.

එහෙත් චිනයේ නිරීක්ෂණ බැලූනයක් අමෙරිකානු ගුවන් කලාපය වෙත ඇතුළු විම හා අනතුරුව අමෙරිකාව එම බැලූනය විනාශ කිරීම හමුවේ මතු වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයත් සමඟ එම සංචාරය දින නියමයක් නොමැතිව කල් ගියා.

අනතුරුව එළඹි එකඟතා අනුවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන මෙලෙස චිනයට පැමිණ ඇත්තේ.