Saturday, July 27, 2024

General line - 0115112241

ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ




ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වනවිට ඒ මහතා 93 වන වියේ පසුවුණා. කලක් රෝගාතුරව සිටි ඔහු අද අළුයම අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග පැවසුවේ. 


ශ්‍රී ලංකා තේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රමුඛයෙකු ලෙසටයි මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා සැලකෙන්නේ. ලොව පුරා තේ කර්මාන්තයේ අදටත් සුප්‍රකට සන්නාමයක් වන ඩිල්මා නිර්මාණය කළේ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතායි. 1930 වසරේ මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ උපත ලද ඔහු මෙරට තේ රස පරීක්ෂකවරුන් ලෙස බඳවා ගත් පළමු සිසුන් 06 දෙනා ගෙන් එක් අයෙක්.

එතැන් සිට මෙරට උසස්ම තත්ත්වයේ තේ ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා 2019 දක්වාම ඩිල්මා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළා. 


අභාවප්‍රාප්ත මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ දේහය මහජන ගෞරවය වෙනුවෙන් පෙරවරු 08 සිට රාත්‍රී 08 දක්වා මීගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබෙනවා. දේහය පිළිබඳ අවසන් කටුයතු ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.