Monday, May 20, 2024

General line - 0115112241

සම්මුතිවාදී ආණ්ඩුවට අවුරුද්දයි




සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු නිළ සැමරුම අද (19) පැවැත්වෙනවා.පසුගිය 2015 වසරේ අගෝස්තු 17 වනදා පැවති මහා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකළ සම්මුතිවාදී ආණ්ඩුවට අදට වසරක් සම්පූර්ණ වනවා.

අගෝස්තු 17 මැතිවරණ ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නොහැකි වුණා. එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 95ක් දෙමළ සන්ධානයට ආසන 16ක් , ජනතා විමුක්ති පෙරමුණට ආසන 06ක් සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට, ඊ.පී.ඩී.පී පක්ෂයට එක් ආසනය බැගින් එම මැතිවරණයේදී හිමි වුණා. 113ක් වූ බහුතරය ලබා ගැනීමට නොහැකිවීම තුළ සම්මුතිවාදි ආණ්ඩුවකට සිය එකඟතාව පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනාවක් සම්මතකර ගනිමින් ඊට අනුමැතිය ලබාදුන්නා.

ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් අතර අවබෝධතා ගිවිසුමක් හරහා යහපාලන ආණ්ඩුව පිහිටුවනු ලැබුවා. මන්තී‍්‍රධුර 95ක් සමගින් ගමන් ඇරඹූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායමෙන් 40කට ආසන්න පිරිසක් මේ වන විට විපක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස පෙනී සිටිනවා.

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් බලයට පත්වන මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනවාරි 8 වැනිදා සිට මාස හයක කාලයක් මහ මැතිවරණය පවත්වන තුරුම කටයුතු කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය සහ අලූතින් පත් කළ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් කැටිකර ගත් දින සියයක වැඩපිළිවෙළක් සහිත ආන්ඩුවක් සමගින්.

නමුත් අගෝස්තු 17 මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම හා නාමයෝජනා ලබාදීම දක්වා පැවති කාලසිමාව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අර්බුද ගණනාවකට මුහුණ දෙන ලබනවා. ඒ නාමයෝජනා ලබාදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති වූ අර්බුද රැසක් හේතුවෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද, බස්නහිර මහ ඇමැතිවරයාව සිටි ප‍්‍රසන්න රණතුංග මහතාටද එම අර්බුද හමුවේ නාමයෝජනා හිමිවූ අතර මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, වැනි හිටපු මන්තී‍්‍රවරුන්ට නාමයෝජනා නොලැබීමද සිදු වුණා. එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අගෝස්තු 17 පැවති මහ මැතිවරණයෙන් ආසන මට්ටමින් මන්තී‍්‍රධුර 83ක් දිනා ගත් අතර ජාතික ලැයිස්තුවෙන් තවත් මන්තී‍්‍ර ධුර 12ක් හිමි වූ අතර මුළු ආසන ගණන 95ක් වන්නේ ඒ අනුවයි.

ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තුළ යළිත් අර්බුදකාරී තත්වයක් උද්ගත වූ අතර ඩිව් ගුණසේකර තිස්ස විතාරණ වැනි , පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ප‍්‍රබල අමාත්‍ය ධුර දැරූ අයට ජාතික ලැයිස්තුව අහිමි වුණා. එමෙන්ම මැතිවරණයට තරග කොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ පරාජයට පත් වුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, එස් බී දිසානායක, වැනි පුද්ගලයන්ට ජාතික ලැයිස්තුව හරහා යළිත් පාර්ලමේන්තුවට පැමිණීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ යළි අවස්ථාව හිමිවීම එම මැතිවරණයේ කැපී පෙනෙන සිදුවීමක් වුණා.

17 වැනිදා පැවති මැතිවරණයේ ප‍්‍රතිඵල 18 වැනිදා ප‍්‍රකාශයට පත් වූ අතර අදින් අවුරුද්දක් වූ අගෝස්තු 19 වැනිදා ශී‍්‍ර ලංකාවේ විසි පස්වන පාර්ලිමේන්තුව සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා. විපක්ෂ නායක ධුරය ලක් ඉතිහාසයේ දෙවන වරට සුළු ජාතික පක්ෂයක් නියෝජනය කළ ඉලංගෙයි තමිල් අරුසු හි ආර්. සම්බන්ධන් මහතාට හිමි වූ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට හිමි වුණා.
සම්මුතිවාදී ආණ්ඩුවට වසරක් පිරෙන මොහොත වන විට සුවිශේෂි ප‍්‍රතිපත්තිමය දේශපාලන වෙනසකට මුල පුරන්නට ඔවුන්ට හැකිවී තිබෙනවා.

19 වැනි සංශෝධනය සම්මත කිරීම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා වැදගත් කාර්ය භාරයකට සම්බන්ධවන්නට ඊට ඡන්දය ලබාදුන් සියලූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ට හැකියාව ලැබුණු බව එක්සත් ජාතික පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් කිරීම, පාර්ලිම්න්තුව විසුරුවා හරීම , ජනාධිපතිවරයා පාර්ලිමේනතුවට වග කියන කාරණා තර කිරීම, ජනාධිපති ධුරය සඳහා තරග කළ හැකි වාර ගණන සංශෝධනය කිරීම ඇතුළු තවත් ප‍්‍රතිපත්තිමය තීන්දු රැසක් 19 වැනි සංශෝධනයට ඇතුළත්.

ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය සම්මුතිවාදී ආණ්ඩුව නිසා සුබවාදී මාවතකට යොමු කිරීමට හැකිවූ බවයි විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරන්නේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ගෙවුණු වසරක කාලය තුළ ශී‍්‍ර ලංකාව සමග පසුගිය කාලය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබදතා දුරස්ව සිටි රටවල් රැසක සංචාරය කිරිමට හා ගිවිසුම් අත්සන් කිරීමටද හැකියාව ලැබුණා. කොළඹ සංවර්ධනය ඉලක්ක කර ගත් මහ නගර සංවර්ධන වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමද සම්මුතිවාදී ආණ්ඩුවේ තවත් කැපී පෙනන තීන්දුවක් වුණා.

වර්තමාන ආණ්ඩුවේ නිළ කාලය ලබන 2020 දක්වා පවතිනවා. 2020දී මහා මැතිවරණයකට මුහුණදීම දක්වා මෙම ආණ්ඩුව ශක්තිමත්ව ජනතා අභිලාෂයන් උදෙසා මෙහෙයවීම ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉලක්කය විය යුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයගේ මතය ලෙස අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශයට පත්වී තිබෙනවා. සංවර්ධන උපායමාර්ග හා තිරසාර සංවර්ධන වැඩසටහන් ඔස්සේ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීම, සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සහ ඒවාට අවශ්‍ය පහසුකම් සපයාදීම හා රාජ්‍ය අංශය එම අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් කාර්යක්ෂම හැඩ ගැස්වීම යහපාලන ආණ්ඩුවේ අනාගත අභියෝග ද වනවා.