Saturday, July 27, 2024

General line - 0115112241

ශම්මිගේ පෙත්සම වැඩිදුර සලකා බැලිම හෙට

   උදය කුමර




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවා එම කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ගෙන තිබු තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා.

සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා.

අද දින පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි.

මෙම නඩුකරයට අදාළ අතුරු තහනම් නියෝගය සහ නොතීසි ලබාගෙන තිබෙන්නේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින් පෙත්සම්කරුට සහාය පලකරමින් ලිපියක් නිකුත් කර ඇති බවත් එහි ඇතැම් සාමාජිකයින් විදේශගතව සිටීම හේතුවෙන් ඔවුන් ඊට අත්සන් යොදා නොමැති බවත් ඉන් අනතුරුව ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.