Saturday, July 27, 2024

General line - 0115112241

මැතිසබයේ කලහ කළ ඩයනා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනාට ලබා දුන් නිර්දේශයට ඡන්දයක්




රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි ගැටුමක් ඇති කරගත් සිද්ධියේ සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමේ නිර්දේශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසුවේ අද පෙරවරුවේ පැවැත්වෙන ඡන්දයේදී මෙම නිර්දේශය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක කාලයකට පාර්ලිමේන්තුව අත්හිටුවිමටයි මේවනවිට නිර්දේශ ලබා දී ඇත්තේ. ඒ, පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින්. 


කෙසේවෙතත් ලබා දී ඇති එම නිර්දේශයට සමඟි ජනබලවේගය විරුද්ධ බවයි වාර්තා වුණේ. අදාළ සිද්ධියට සම්බන්ධ සිය මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශයට අනුව කටයුතු නොකරන ලෙසටයි සමඟි ජන බලවේගය පවසන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ කතානායකවරයා විසින් මිට පෙර පත් කළ කමිටුවේ නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙසයි. එම කමිටුව විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට මාස 03ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරට සති දෙකක් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට නිර්දේශ කර තිබු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට තීරණයක් ගෙන නොතිබූ බවත් සමඟි ජනබලවේගය පෙන්වා දෙනවා.  

එම නිර්දේශයද සැලකිල්ලට ගනිමින් සමඟි ජනබලවේගය අවධාරණය කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පමණක් කටයුතු කළ යුතු බවයි.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා අතර උණුසුම්කාරී තත්ත්වයක් මතු වුණා. පසුව එම ගැටුම පිළිබඳ පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනයට ලක් කිරීමෙන් පසුවයි මෙම නිර්දේශය ගෙන ඇත්තේ.