Saturday, July 27, 2024

General line - 0115112241

උද්ධමනය ඉදිරියේදිත් ඉහළ යන ලකුණු




බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා. ඒ හමුවේ සැපයුම් අංශයට අදාළ තත්ත්වයන් හේතුවෙන් උද්ධමනය ඉහළ යාම සිදුව ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ. 


දැනට පවතින උද්ධමන අගය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවා. එහෙත් එය දැඩි උද්ධමනකාරී තත්ත්වයක් නොවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. 


කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 3 යි දශම 4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය වාර්තා වූයේ සියයට 1 යි දශම 5 ක් ලෙසයි. ඔක්තොබර් මාසයේ සියයට ඍණ 5 යි දශම 2 ක්ව පැවැති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේ දී සියයට ඍණ 3 යි දශම 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔක්තෝබර් මාසයේ දී සියයට 4 යි දශම 9 ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ දී සියයට 6 යි දශම 8 ක් දක්වා වැඩිවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.