Friday, September 27, 2024

General line - 0115112241

සාරි, සිල් රෙදි බෙදලා ජනතාව චූන් කරලා ඡන්ද දිනන්න බෑ, ආණ්ඩු කරන හැටි පාඨලී උගන්නයි




සාරි බෙදා සිල් රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘නව වසරේ දේශපාලන හා ආර්ථික අභියෝග’ යන මැයෙන් අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහෙදි ඔහු පවසා සිටියේ පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කොට ඇති නිසාත්,  මේ වනවිට රට  මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කරලා ඇතැයි ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මහ බැංකු අධිපතිතුමා සහ රජයට උපදෙස් සපයන විශේෂඥවරු පවසන බවයි.

පසුගිය උත්සව සමයේදී විශාල පිරිසක් රට වටේ මෙන්ම විදෙස් සංචාර සඳහා ගොස් මුදල් වියදම් කළ නිසා මෙන්ම රටේ බොහෝ ස්ථාන වල  සැණකෙළි පැවැත් වූ හේතුවෙන් රට සාමාන්‍යකරණයට පත් වූ බවත් ඔවුන් ප්‍රකාශ කරන බව ද ඔහු පැවසුවේය.

නීත්‍යානුකූල මැතිවරණයකින් කවුරු බලයට පත් වුව ද,  පාර්ලිමේන්තුවේ බහුතර මතයෙන් අනුමත කරවා ගත් යෝජනාවලිය හැර වෙන යෝජනාවලියක් නොමැති බව ද  ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල විසින් අත්සන් කළ ගිවිසුමේ තිබෙන ඇතැම් වගන්ති, ඇතැම් කොන්දේසි කවර රජයක් යටතේ වුවත් ක්‍රියාත්මක කළ යුතු බව ද වැඩිදුර අදහස් දක්වමින් හෙතෙම පැවසූවේය.

ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කර ගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් සිදු කරගත යුතුව තිබෙන බවත් පැවසූ පාඨලී චම්පික මහතා අධික විදුලි බිල්, අධික ඉන්ධන ගාස්තු සහ දුරකථන ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම දෑ හේතුවෙන් එය රටේ ආර්ථික වර්ධනය ඇණහිටවන හේතුවක් බවට පරිවර්තනය වීමක් බව ද එමගින් ආර්ථික හැකිලීමක් සිදුවන බවයි.

වාණිජ ක්ෂේත්‍රය සඳහා ආසියාවේ ලොකුම විදුලි බිල අයකරනුයේ අපේ රටේ බවත් එය ඩොලර් පනස්දාහ හැටදාහ ඒක පුද්ගල ආදායම් තියෙන රටවල් වන හොංකොං, තායිවාන් වැනි රටවල් වලටත් වඩා වැඩි බවත් ඒ හේතුවෙන් අපේ රට තුළ ස්ථාපිත කොට ඇති කර්මාන්ත සියයට හතළිහක් විදුලි ගාස්තු අඩු වියට්නාමය වැනි රට වල කර්මාන්තකරුවන් විසින් ස්ථාපිත කරන බවත් ඒ මහතා පැවසුවේය.

විදුලි බිල වැඩිකොට  විදුලිබල මණ්ඩලය ස්ථාවර කිරීමට යෑමෙන් කර්මාන්ත රටින් පිටව යන බවත් භාණ්ඩ මිලදී ගැනීම, පරිභෝජනය කිරීම, නිෂ්පාදනය කිරීම සිදු නොවන නිසා ආර්ථිකය හැකිලෙමින් පවතින බවත් පැවසූ අතර මේවනවිට ඉතුරුම් ද සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.