Sunday, September 8, 2024

General line - 0115112241

බහාලුමක සැඟව මැලේසියාවට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව පිටුවහල් කෙරේ

ටී කේ ජී කපිල




හිස් බහාලුමක සැගව මැලේසියාවට පලායාමට තැත් කර සිටියදී චීනයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු යළි දිවයිනට පිටුවහල් කර තිබෙනවා.

26 හැවිරිදි සහ 39 හැවිරිදි වියේ පසු වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු එලෙස පිටුවහල් කර ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

කොළඹ වරායේ නවතා තිබූ නොකාවක පැටවූ හිස් බහාලුමක සැගව මැලේසියාවට පළා යාමට තැත් කිරීමේදී චීනයේදි අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා දිවයිනට යළි පිටුවහල් කර ඇත්තේ වසරකට පසුවයි.

2023 වසරේ ජනවාරි මස 30 දින කොළඹ වරායේ සී.අයි.සී.ටී. ජැටියේ නවතා තිබූ ” මර්ක්ස් යුනිකෝන් ” නෞකාවට පටවා තිබූ  හිස් බහාලුමක් තුළට ඔවුන් දෙදෙනා රහසිගතව ඇතුළු ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ නෞකාව මැලේසියාවට ළගා වූ අවස්ථාවේ බහාලුම තුළ සැගවී සිටි මොවුන් දෙදෙනා භාර ගැනීම එරටින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව  එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රැගෙන තවත් රටවල් කිහිපයකට යෑමෙන් අනතුරුව චීනය වෙත ඔවුන් භාරදීමටයි නෞකාවේ බලධාරීන් කටයුතු කර ඇත්තේ. 

චීනය විසින් පිටුවහල් කළ එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා දිවයිනට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.