Friday, October 18, 2024

General line - 0115112241

තලවකැලේ සෙන් ක්ලෙයාර් වතුයායේ කසල තේ තොගයක් සොයා ගැනේ

රංජිත් රාජපක්‍ෂ




තලවකැලේ, සෙන් ක්ලෙයාර් වතුයායේ ස්ටිලින් කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල වතුයායේ ලොරි රථයක පටවා තිබු කසල තේ කිලෝග්‍රෑම් 2400 ක් සොයාගෙන තිබෙනවා.

එම කසල තේ තොගය පළමුව සොයාගෙන ඇත්තේ වතුයායේ වතු කම්කරුවන් විසින් ලොරි රථය සහ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස වැටලූ අවස්ථාවේදී බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වතු කම්කරුවන් කියාසිටියේ තේ කර්මාන්ත ශාලාවෙන් කිසිදු අයෙකුට නිමි තේ කිලෝවක් හෝ කසල තේ රැගෙන යාමට නොහැකි වන ආකාරයට ආරක්ෂාව තර කර තිබියදි එම වතු අධිකාරිවරයා සහකාර වතු අධිකාරිවරයා සමග එක්ව කසල තේ තොගය ඉතා සුක්ෂම ලෙස තේ කර්මාන්ත ශාලාවෙන් රැගෙන අලෙවි කිරිමට සැලසුම් කර තිබු බවයි.

කසල තේ තොගය තේ වත්තේ කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරිමට රැගෙන පැමිණි බවට වතු අධිකාරිවරයා වතු කම්කරුවන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් වතු කම්කරුවන් පෙන්වා දෙන්නේ කිසිදු අවස්ථාවක මෙවැනි ආකාරයට තේ කර්මාන්ත ශාලාවෙන් කසල තේ තම වතුයායට රැගෙන නොපැමිණි බවයි.

ඒ අනුව වතු කම්කරුවන් කළ පැමිණිල්ලකට අනුව තලවකැලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ එම තේ තොගය තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වතු කම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයාගෙන් කළ විමසීමකදී ඔහු  කියා සිටියේ මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් සිදුකිරිමට තමන් බැදි  නොමැති බවයි.