Sunday, September 8, 2024

General line - 0115112241

අධික උෂ්ණත්වය නිසා පාසල් සිසුන්ට උපදෙස් මාලාවක්




පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායෙන් අත්මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කර ඇති නිර්දේශ මාලාවක් අධ්‍යාපන  අමාත්‍යංශය අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දහදිය දැමීම නිසා ඇති වන විජලනය හා ලවණ ඉවත් වීම හේතුවෙන් මස් පිඩු පෙරළීම, අත් පා හා උදරයේ මස් පිඩු වේදනාව හා පෙරළීම යන අවස්ථාවලදී ගත යුතු පියවර සම්බන්ධයෙන්ද උපදෙස් ලබා දී තිබෙනවා.

එවන් අවස්ථාවලදී සියලු ක්‍රියාකාරකම්වලදී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවයි එම නිර්දේශවල ඇතුළත් වන්නේ.

අධික උෂ්ණත්වය මත අධික මහන්සිය හට ගන්නා අවස්ථාවලදී විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ස්නානය සහ සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම වඩාත් යෝග්‍ය වනවා. 

ශරීරයේ උෂ්ණත්වය නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආගාධ තත්ත්වයන්හිදී අධික ශරීර උෂ්ණත්වය නාඩි වේගය වැඩි වීම ශ්වසන වේගය වැඩි වීම, සිහි මද ගතිය, හිසරදය, වලිප්පුව සහ සිහිසුන් වීම සිදු විය හැකියි.

එවැනි අවස්ථාවලදී ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම, බුරුල් කිරීම සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම සිදු කළ යුතුයි.

මෙය දැඩි අවදානම් තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි එම උපදෙස් මාලාවේ දැක්වෙන්නේ. 

1990 අමතා සුවසැරිය ගිලන්රථය සේවයේ සහය හෝ නැතහොත් ආසන්නම රෝහලේ ගිලන්රථය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද එම උපදෙස් මාලාවේ ඇතුළත්. 

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ  ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතු වනවා.

එමෙන්ම සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වාගත යුතු බවද එම උපදෙස් මාලාවේ ඇතුළත්.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් යෝග්‍ය වනවා.

එමෙන්ම දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේදී පාසලේදී මෙන්ම නිවසේදී අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවන්වලදී සිසුන් පිටතට ගෙන යාමෙන් වළක්වා ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් යොමු කළ එම උපදෙස් මාලාවේ දැක්වුණේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙසද එම උපදෙස් මාලාවේ ඇතුළත්.