Saturday, July 27, 2024

General line - 0115112241

ස්වාධීන කළ මහබැංකුව ගැන කැබිනට් ඇමතිවරයෙක් නොසතුටෙන්




මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කළේ එහි කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දමා ගැනීමට සහ ඔවුන්ට වරප්‍රසාද ලබා ගැනීමට නොවන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් මහ බැංකුව එලෙස ස්වාධීන ආයතනයක් බවට පත් කළ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ. 


ඒ අනුව සීමිත කණ්ඩායමකට එලෙස වැටුප් වැඩි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් කියා සිටියා.


කෙසේවෙතත් කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආයතනික යහපාලන පරිචයන් සළකා රජයේ ඇතැම් ආයතනවල මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද වැටුප් සංශෝධන සෑම වසර තුනකටම වරක් සිදු කරන බවයි.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට සේවය කළ පළපුරුදු නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් අහිමි වී තිබෙනවා.

ඔවුන්ගෙන් ඇතැමෙකු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට එක් වූ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. 

මෙම වැටුප් සංශෝධනය සිදු නොවුනේ නම් ඉතිරි නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් රට අතහැර යාමට නියමිතව සිටි බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.