Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස්පති පත්කිරීම නීතිවිරෝධී ද ?

උදය කුමාර




දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව දේශපාලනඥයින් අද අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ පොලිස්පති ධූරයේ පත්කිරීම නීති විරෝධී බවයි.


අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධණ පැවසුවේ ව්‍යවස්ථාදායක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 


එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පොලිස්පති ධූරයේ පත් කිරීම සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බවයි.


කෙසේවෙතත් එක්සත්ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ ජනාධිපතිවරයාට පැවරී ඇතිබලතල ප්‍රකාරව පොලිස්පති පත්කිරීම නිවැරදිව සිදුකර ඇති බවයි.


සමගි ජනබලවේගයේ පාර්පිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ කතානායකවරයාගේ හැසිරීම ගැටළුසහගත බවයි.


කෙසේවෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධණ විසින් කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.


මේ අතර දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සහ පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, එම පෙත්සම් අද දිනයේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම මේ වන විට සිදුකොට අවසන්ව තිබෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් මෙහිදී තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. 

ඒ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි.

ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රෙල් මස 02 වන දා යළි කැඳවන ලෙස නියෝග කළා.