Wednesday, May 1, 2024

General line - 0115112241

ධර්මසේන අතින් සිදු වූ ක්‍රිකට් වරදක් ගැන වසර 05කට පසු ආන්දෝලනාත්මක අනාවරණයක්




ක්‍රිකට් පිටියේ දැඩි ආන්දොලනයක් ඇති කළ එංගලන්තයේ පැවති 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්ත - නවසීලන්ත අවසන් මහ තරඟයේ සිදු වූ අත්වැරදීමක් පිළිබඳ එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ මරෙයි ඉරස්මස් (Marais Erasmus) විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ, එම සිද්ධිය සිදු වී වසර 05කට පසුවයි.

ඔහුගේ මෙම අනාවරණයේදී එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන අතින් සිදුවූ අත්වැරදීමක්ද අනාවරණ කර තිබීම විශේෂත්වයක්.

ලෝකප්‍රකට එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මරෙයි ඉරස්මස් පවසා ඇත්තේ අවසන් මහා තරඟයේ සිදුවූ අත්වැරදීම් 02ක් හේතුවෙන් තරඟයේ ප්‍රතිඵලයට බලපෑම් සිදු වූ බවයි.

 එහිදී ඔහුගේ අනාවරණයට ක්‍රිකට් පිටියේ දැඩි ආන්දොලනයක් ඇති කළ අවසන් තරඟයේ අවසන් පන්දු වාරයේ කුමාර් ධර්මසේන ලබා දුන් ලකුණු 06ක තීන්දුවද ඇතුළත්.

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදී බෙන් ස්ටෝක්ස් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කරනවා.

එහිදී පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි යන අතර පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සංඥා කළේ පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකද ඇතුළුව අතිරේකව ලැබුණු ලකුණු 4ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවයි.

එහෙත් ඒ අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා දෙවන ලකුණ සඳහා පැති මාරුකරගෙන නොසිටි බවයි විනිසුරුවරයා කළ නවතම අනාවරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලබා දිය යුතුව තිබුණේ ලකුණු  06ක් නොව ලකුණු 05ක් පමණක් බවයි මරෙයි ඉරස්මස්ගේ අදහස වන්නේ.

අවසානයේ එම තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදුන් අතර සුපිරි පන්දුවාරයේදීද ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට ලෝක කුසලානය හිමිවුණා.

ඒ අනුව යම් හෙයකින් කුමාර් ධර්මසේන ලකුණු 6 වෙනුවට ලකුණු 5ක් දී තිබුණේ නම් නවසීලන්තයට ලෝක කුසලානය ජය ගැනීමට පවා අවස්ථාව පැවතුණා.

තරඟයේ පිටියේ විනිසුරු වූ මරෙයි ඉරස්මස් සිය අනාවරණයෙන් පවසා ඇත්තේ එංගලන්ත කන්ඩායමට ලබාදිය යුතු ලකුණු 5 වෙනුවට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු වරද පිලිබඳ කුමාර් ධර්මසේන තමා සමග සාකච්ඡා කළ බවයි.

තරඟයට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේ උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේ ඒ පිළිබඳ කතාබහ කළ බවත් එහිදී කුමාර් ධර්මසේන විසින් “ඔබ දැක්කද අපි කරල තියන බරපතළ වරද” යනුවෙන් ප්‍රකාශ කළ බවත් තරඟයේ පිටියේ විනිසුරු වූ මරෙයි ඉරස්මස් පවසා තිබෙනවා.

එමෙන්ම එම තරගයේදී නවසීලන්ත පිතිකරු රොස් ටේලර්  ලකුණු 15කට දැවී යාමට තමන් ලබා දුන්  කඩුල්ල මුවා කිරීමේ වරදට අදාළ තීන්දුව දෝෂ සහිත පවත් මෙම සිද්ධීන් පිළිබඳ තමා පසුතැවිලි වන බවත් මරෙයි ඉරස්මස් පවසනවා.