Wednesday, May 1, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා අදට වසර දහයයි




ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ විජයග්‍රහණයට අදට වසර 10 ක් සපිරෙනවා. 

2014 වසරේ අප්‍රේල් මස 6 වනදා බංග්ලාදේශයේ ශෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදි පැවති අයි සී සී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සමග තරග වැදුණේ ඉන්දියාවයි.

එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නා.

ලසිත් මාලිංග, නුවන් කුලසේකර ඇතුළු ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස් කිරීමට හැකි වුණේ කඩුළු 4 ක් දැවි ලකුණු 130 ක් පමණයි.

විරාත් කෝලි පන්දු 58කදී ලකුණු 77 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5කදී කඩුළු 4 ක් දැවී ලකුණු 134 ක් රැස් කර ගනිමින් එම තරගයේ ජය වාර්තා කළා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කුමාර් සංගක්කාර පන්දු 35කදී නොදැවී ලකුණු 52 ක් රැස් කර ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත්තා.

මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීම සදහා අද විශේෂ වැඩසටහන් සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.