Saturday, July 27, 2024

General line - 0115112241

රියදුරන්ට පොලිසියෙන් දැනුම් දීමක්




මෙම දිනවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ දිනයේද ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පැවසුවේ.

වැලිගෙපොළ, පල්ලේබැද්ද මාර්ගයේ කුඩා කන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පදික මාරුවේදී බස් රථයකට යටවී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර පොදු වෙළඳ සංකීර්ණය අසලදියි. පදික මාරුවේදී පෞද්ගලික බස් රථයක් කාන්තාවගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාතුඹය ප්‍රදේශයේ කාන්තාවක්. 

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ සාලාව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් වෙනත් රථයකට ඉස්සර කිරීමට යාමේදී පෙරලී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සාලාව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මේ අතර යාපනය - මන්නාරම මාර්ගයේ 04 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු පුනරීන් රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.