Sunday, June 16, 2024

General line - 0115112241

ජනාධිපති , අගමැති , විපක්‍ෂ නායක සහ අනුර කුමාරගේ වෙසක් පණිවිඩ




ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අප සැමට මග පෙන්වන බවයි වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි මිනිසකු නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර ගත යුතුයි.

යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට බුද්ධ දේශනාව පදනම් කර ගෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයේ සදහන්.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද වෙසක් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ස්වාභාවික ව්‍යවසන හා ආර්ථික අර්බුදයන් හමුවේ අඩපණව තිබී, වසර ගණනාවකට පසුව පූර්ණ වෙසක් උත්සවයක් සැමරීමේ අවස්ථාව මෙවර ලාංකික අපට උදාවී ඇති බවයි.

වෙසක් සැරසිලි ජීවිතයේ අනිත්‍යතාවය පසක් කරන ගැඹුරු මානසික අභ්‍යාසයක්.

ජීවිතය සමබර නොවීම විනාශයට මග පාදන බව දරුවන්ට අත්දැකීම් තුළින් අවබෝධ කර ගැනීමට එය මග පාදනු ලබනවා.

එබැවින් අත්දැකීම් තුළින් ජීවිතයට අවබෝධ කරවීමත්, වෙසක් කලාව නොනැසී පවත්වා ගැනීමටත්, වෙසක් සැරසිලිවල යෙදීමට දරුවන් යොමු කරවීමත් වැඩිහිටි සැමගේ යුතුකමක් බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක්දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් හික්මුණු සමාජයක් ලෝකය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නොවැළැක්විය හැකි බවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තුළ නිවැරදිව ගමන් කරමින් එකී ධර්මය නිවැරදිව අනුගමනය කරන්නේ නම් අපේ මාතෘ භූමිය ලොව කීර්තිමත් තලයකට රැගෙන යාම අපහසු නොවන බවද විපක්‍ෂ නායකවරයා නිකුත් කළ වෙසක් පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

බුද්ධ කාලීන සමාජිය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිදියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සදහා බුදුන් වහනේස් විසින් ලෝකයට හදුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මගපෙන්වීමක් ලබාදෙන බව එහි සදහන්.