Saturday, September 28, 2024

General line - 0115112241

අමෙරිකාවේ සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක්




අමෙරිකාවේ මේ වන විට ක්‍රියාත්මක වන සියලු සමාජ මාධ්‍ය සඳහා අනතුරු ඇඟවීමේ ලේබලයක් සටහන් කළ යුතු බවට එරට මහජන සෞඛ්‍ය සේවා කොමිසමේ ප්‍රධානි වෛද්‍ය විවේක් මූර්ති අමෙරිකානු කොන්ග්‍රසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට තරුණ පරපුරට සමාජ මාධ්‍ය තුලින් සිදුවන මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි.

සමාජ මාධ්‍ය මගින් සිදුවන හිරිහැර කිරීම්, අපයෝජනයන් සහ සූරාකෑම්වලින් තරුණ තරුණියන් ආරක්ෂා කරන නීති සම්පාදනය කිරීමටද අවශ්‍ය බවයි ඔහු කොන්ග්‍රසයට දන්වා ඇත්තේ.

වෛද්‍ය විවේක් මූර්ති මේ පිළිබඳව 2019 වර්ෂයේ ඇමරිකානු වෛද්‍ය සංගමයේ අධ්‍යයනයක් ඇතුළුව අධ්‍යයන කිහිපයක් පදනම් කර ගනිමින් ගවේෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දිනකට පැය පහකට ආසන්න කාලයක් එරට තරුණ තරුණියන් සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි අනාවරණය වී ඇත්තේ.

එසේම වයස අවුරුදු 13 සිට 17 දක්වා තරුණ තරුණියන් සියයට 95ක් පමණ සමාජ මාධ්‍ය භාවිතා කරන අතර ඉන් තුනෙන් එකක්ම අඛණ්ඩව සමාජ මාධ්‍ය භාවිතයට හුරුවී සිටින බවට සඳහන්.

කෙසේවෙතත් ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්හි මව් සමාගම වන මෙටා සමගම මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.