Saturday, July 27, 2024

General line - 0115112241

සන් රයිසස් කණ්ඩායම අයි පී එල් අවසන් වටයට සුදුසුකම් ලබයි




අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට සන් රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවැති තරඟය ලකුණු 36කින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන් රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් පමණක් දැවී ලකුණු 175ක් රැස්කළා.

හයින්රිච් ක්ලාසන් පන්දු 34කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 50ක්.

ඔහුගේ ඉණිමට හයේ පහර 04ක් ඇතුළත් වුණා.

රාහුල් ත්‍රිපාති ලකුණු 37ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 34ක් රැස්කළා.

පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් සහ අවේශ් ඛාන් කඩුලු 03 බැගින් බිඳහෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

එහිදී ඩෘව් ජුරෙල් නොදැවී ලකුණු 56ක් රැස්කළා.

යෂස්වි ජයිස්වාල් ලකුණු 42යි.

පන්දු යැවීමේදී ෂබාස් අහමඩ් කඩුලු 03ක් සහ අභිෂේක් ශර්මා කඩුලු 02ක් බිඳහෙලුවා.

පන්දු 18කට ලකුණු 18ක් රැස්කළ සහ ලකුණු 23කට කඩුලු 03ක් බිඳහෙලූ ෂබාස් අහමඩ් තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.

ඒ අනුව, සන් රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවා.

කණ්ඩායම් දෙක අතර එම තරඟය හෙට චෙන්නායිහීදී පැවැත්වීමට නියමිතයි.