Sunday, September 8, 2024

General line - 0115112241

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව සාගල රත්නායක කියයි 




අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්.

ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.

යොවුන් පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතු සාගල රත්නායක පවසා සිටියේ මෙවැන්නක්.


" අද මෙම සැසිවාරයේ දී තරුණ ප්‍රතිපත්තියත්, ආර්ථික පරිවර්තන පනතත් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. 

රට තුළ නව ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා කැපවී කටයුතු කරන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් බව කිව යුතුයි. 

අප අවසන් වශයෙන් අලුත් ආර්ථිකයක් මේ රට තුළ දුටුවේ 1978/79 සමයේ ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. 

ඉන් පසු ආර්ථික ප්‍රතිපත්තිවලට සංශෝධන එක් වුවා මිස සම්පූර්ණ අලුත් ආර්ථිකයක් රටට හඳුන්වා දීම සිදු වුණේ නැහැ. 

ඒ හේතුවෙන් අපට රටක් ලෙස තරගකාරිත්වයට මුහුණ දෙමින්  වේගයෙන් ඉදිරියට යාමට නොහැකි වුණා. 

ඒ වගේම අපේ ආර්ථිකයට දේශපාලන බලපෑම් විශාල ලෙස බලපානු ලැබුවා. 

එපමණක් නොවෙයි අපේ තරුණ දරුවන්ගේ ආකල්පත් මීට බලපෑවා. අලුත් ආර්ථිකයක් සමග ඉදිරියට යාමේ දී තරුණ පරපුරේ ආකල්ප ද ඒ හා සමගාමීව සංවර්ධනය විය යුතුයි. 

දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම සහ පුහුණුව වර්ධනය නොකළහොත් අප මොනතරම් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වන්නේ නැහැ. 

ජනාධිපතිතුමා ද සෑම අවස්ථාවකම මෙය පෙන්වා දෙනවා. අප ගමන් කරන අලුත් ආර්ථිකයට අවශ්‍ය පුහුණුව දැන් සිටම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ සඳහා මනස සකස් කළ යුතුයි. 

එහිදි පැරණි හණමිටි අදහස් අප වෙනස් කරගත යුතුයි. 

හොද දේවල් අප ඉදිරියට ගෙන යා යුතුයි වගේම දුර්වල දේ අත්හැරිය යුතුයි. 

එසේම අලුත් වැඩපිළිවෙළේද හොද දේ පමණක් ගනිමින් දුර්වල දේ අතහැරිය යුතුයි. 

ඒ නිසා අලුත් පනත් ගේනවා වගේම තරුණ පරපුරේ දියුණුව වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද මම මෙහිදී සිහිපත් කරනවා."