Friday, October 18, 2024

General line - 0115112241

සත්කාරක අමෙරිකාව සුපිරි 08 දෙනාගේ වටයට යද්දී පකිස්ථානය මූලික වටයෙන්ම ඉවතට




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට පකිස්ථාන කණ්ඩායමට සිදුවුණා.

ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැති තරගය අතහැර දැමීම හේතුවෙන්.

එම තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ 08ට පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් අමෙරිකාවේ ෆ්ලොරීඩාහි පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරගය අතිහිටුවීමටයි විනිසුරුවරු තීරණය කළේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

එවන් පසුබිමක් තුළ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ඒ” කාණ්ඩයේ තුන්වන ස්ථානයේ සිටි පකිස්ථානයට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

මේ අතර එම තරගාවලියේ “ඩී” කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ නේපාල කණ්ඩායම් අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ නේපාල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 115 රැස්කළා.

කෙසේවෙතත් සුපිරි 08 දෙනාගේ වටයට දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිටත් සුදුසුකම් ලබා අවසන්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “සී” කාණ්ඩයේ තරගයක් ද මේ වනවිට පැවැත්වෙනවා.

ඒ නවසීලන්තය සහ උගන්ඩා කණ්ඩායම් අතරයි. 

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා උගන්ඩා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 04ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 03ක් රැස්කරගෙන සිටියා.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගයෙන් ජය ගත්ත ද සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.