Sunday, September 8, 2024

General line - 0115112241

කොදෙව් කාන්තා පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 195ක් රැස් කළා.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක හේලි මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 38ක්. පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුලු 03 බැගින් බිඳ හෙළුවා. 

ජයග්‍රාහී ලකුණු 196ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 198ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.

නොදැවී පන්දුවට පහර දුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 53කදී හතරේ පහර 05ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 44ක්.

හසිනි පෙරේරා ලකුණු 43ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 40ක් රැස් කළා.

නායක චමරි අතපත්තුට පන්දු 36කදී හතරේ පහර 06ක් සමගින් රැස් කිරීමට හැකි වූයේ ලකුණු 38ක් පමණයි. 

තරඟ තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් දෙක අතර දෙවන තරඟය ලබන 18 වනදා ගාල්ලේදි ආරම්භ වීමට නියමිතයි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පන්දුවාර 20 තරඟ තුනක්ද පැවැත්වෙනු ඇති.